සංකිච්ච/සංකිත්ත මහරහතන් වහන්සේගේ කථා වස්තුව

සංකිච්ච/සංකිත්ත මහරහතන් වහන්සේගේ කථා වස්තුව


ගුණ යෙන් අසමසම බුදු හිමි නැමති සඳ
පින ටම ලැබුණු සූ-අසු-දස් දහම්  කඳ
සන සා දම් දෙසන මහ සඟ පිරිස තෙද
ගුණ දැක බැතින් පැහැදී දණ නමා වැඳ

කල මුත් සියළු සතුරන් පරදා ඉවත
බල වත් බිය සිතේ කෙලෙසුන් හා පැවත
දුල අම නිවන ලද සිත තුල බිය නොමැත
පෙළ ගස්වමු උතුම් සංකිත් ථෙර පුවත

සැවැත් නුවර තිස් දෙනෙකුන් සිටි මිතුරූ
වියත් මහළු පශ්චිම වයසත් සපිරූ
අසත් මුණිඳු තෙපලන දම් පද මහරූ
ඇවිත් මහණ වෙති බුදුසසුනේ සොඳුරූ

දහම් අසා හිඳ බුදු හිමි ඉදිරි පස
තරම් නොවෙයි කෙලෙසුන් දුරුකලොත් මිස
උතුම් නිවන් මග වැඩුමට වී නොලස
වදිම් ඈත අරණක වැඩුමට තපස

හැඳ, පා සිවුරු ගෙන වටිනා අවවාද 
වැඳ බුදු රදුන් ලඟ වැතිරී සිරි පාද
අද යන මගදි "සැරියුත්" හමුවෙනවාද
තෙද බුදු වදන් පිළිගෙන වී අනුමෝද

විත් මුණගැසී අගසව් හිමි සරිපුත්ත
සත් වස් වයස හිමියන් දැක "සංකිත්ත"
පත් වූ රහත් උතුමෙක් ලෙස නොම දත්ත 
ලත් උපදෙසින් ගමනට එක් කර ගත්ත

තිස් එක් නමක් හිමි වරු මෙලෙසින් සැදුන 
රැස් වී කැලෑ බද පෙදෙසක වන අරණ
හිස් කරලනු පිණිස කෙලෙසුන් හිත පිරුණ
උස් වෙර දරති , වඩවා ගන්නට නුවණ

සොර මුල,  වෙසෙන අසබඩ එහි තිබෙන  වනේ
නර බිලි සොය සොයා හැසිරෙති හතර කොනේ
දුර සිටි සඟුන්  දැක එහි පැන අසුරු  සැනේ
මර ණට කෙනෙක් තෝරති බිළි පුදන දිනේ

දෙටු තෙර නම සිටිය වයසෙන් ගිය මෝරා
දුටු කල තමා  කැප විණි   ගන්නට තෝරා
ඉටු කර තමන් යුතුකම අන් අය  බේරා
පටු කම් නොමැති තෙරවරු හැම වුණි භාරා

එය දැක මහා "සංකිත්"  නම් තෙරිඳු සඳ
භය නැති හෙයින් ඇති අරහත් ඵලය විඳ
කිය මින් බිලිය ගන්නා ලෙස හිසත් සිඳ
සිය දිවි දෙන්න පිවිසුණි ඒ පිරිස මැද

අන් සඟ පිරිස් තෙරිඳුන් ගැන නොම දන්නා
දැන් මේ කුඩා හිමි සොරුගෙන් වැනසෙන්නා
ඉන් දැඩි දුකට පත් වී එහි  හඬමින්නා
යන්නට සොරු සමඟ හිමි හට සමු දුන්නා

වැඩි හිටි තෙර නමක් වඩිමින් සොරුන් දෙස
පොඩි හිමි ලපටි බව කියමින් නොයෙක් ලෙස
දැඩි කම් නොපා , සිඳ ලනු ගෙල වසා ඇස
අඩි පසු පසට ගෙන  පැවසී කඳුලු පිස

ගෙන හිමි , සොරුන් තම වාඩිය වෙත පැමිණ
පණ මොහු නසා  පූද දී ලබනෙමු සරණ
ඇන හිස කපන අටියෙන් කඩු පත් වනන
මොන පුදුමයද? කග පත් ඇකිලෙති සැනෙන

අරුමය කිමද දැක නැත මෙය කවදාක
සොරු වටපිට බලති බිය වුනු ලෙස රෑක
මරු දැක දරුණු මිනිසුන් වුව වෙති ශෝක
දරුවෙක් බිය නැතිව දැක නැත කිසි දාක

ඇත් කොටි වලස් රඟ දෙන මේ වන මැද්ද
ගත් කඩු වලින් පණ නැසුමට පර සිද්ධ 
හිත් පිත් නැති සොරුන් නංවති මහ සද්ද
ඇත්තට ඔබට මෙහි ඉන්නට බය නැද්ද ?

කිම ඔබ අසා නැතිවද ඒ  මුණිඳු ගුණ
මම සව්වෙක්මි ඇති මඟඵල නැමති මිණ
හැම ටම අවිදු-තෘශ්ණා හේතුව'යි දැන
නිම කල කිස නිසා භය නැත කිසිඳු තැන

සොරු  එය අසා හිමියන්  ලඟ දණින් වැටී
ගුරු වී අපට කිව මැන සිත නිවන හැටී
දුරු කර අගුණ , වෑඩුවොත් යහ ගුණය වටී
ගරු මහ සඟුන් ලෙස පැවිදිව එතැන සිටී

සංකිත් හිමි ඇතුළු හිමිවරු රැස නවක
සැරියුත් හිමිද , බුදු හිමි දක්නට දුරක
මගටත් වැදී දැක මුල් තිස් නම හනික
වත්ගොත් කියා සිත දුක් දුරැලා සැනෙක

වැද සැවතට අලුත් හිමිවරු හා එකල
වැඳ බුදු හිමිත් , සැරියුත් හිමි පා යුගල
හිඳ බණ අසා බුදු මුව මඬලෙන් තෙපුල
සිඳ මින් නිවන් ලැබගති කෙලෙසුන් සකල

විරුවන් වෙතොත් බිය නැති , කල සතට වැඩ
දැරුවන් සසුන මිස , අන් අය නොලද ඉඩ
තෙරුවන් කෙරෙන් පැහැදී බණ අසා හඬ
හුරුවෙන් දුරු කරමු හිත ඇති කෙලෙස් මඬ!




Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය