27-09-2025: සාවකෝ- නිවනට නැඹුරුව හිතන්නේ කොහොමද
27-09-2025: සාවකෝ- නිවනට නැඹුරුව හිතන්නේ කොහොමද ?
ලබන පිණිස සුන්දර වූ නිවන අම
තිබෙන පිරිය හද පතුලෙන් නැඟුණු පෙම
නොවන තුරා නොවැඩෙයි සිත අමා දම
දෙසන උතුම් නායක හිමි, මහරගම
අදිටන අපේ ලැබගන්නට නිවන් රසේ
කොපමණ වෙලා යෙදුවද එය ලබන ලෙසේ
මෙදෙකෙන ලබයි අමයුරු ඵල මහත් තොසේ
අපමණ අගය එහි ඇති, පවසමු ද කෙසේ
මම , මේ මගේ වස්තුව සහ පවුල දරූ
කිම මේ සැබෑ නොව හැඟුමකි සිතේ දැරූ
නොම දුටු නිසා පැටලී මිසදිටුවෙ බොරූ
හැම දෙන සසර දුවවයි වසඟයෙහි මරූ
ඇතිවන ගැටළු , බාධා සහ දුක් ගැහැට
හටගෙන තිබෙයි "මම", "මගෙ" බව දුටු කලට
දැනගෙන වැරදි දැක්මයි හේතුව මෙයට
සැනසෙන අයුරු දැන ගමු , පීඩා කුමට ?
නෙක රැඟුමෙන් , චරිත කරමින් හොඳින් හැඩ
දුක අත් විඳිති , "ඇත්තට" එහි නොමැත ඉඩ
දැක, මෙහි කරන දේවල් ලෙස ලමා වැඩ
සකසා ගනිමු සම්දිටු මත, බොරුව මැඬ
අදහස්, නැඟෙන සිතුවිලි , ඵලයකි දැනෙන
උපදෙස් අසා දැක, "මම" නැති බව මෙතන
නිදහස් වෙමින් ගැලවී පැටලුණු කෙමන
සිඳ හිස් අවිඳු, ලැබ ගමු ඒ අම නිවන!
Comments
Post a Comment