*Audio Recorder යන්ත්‍ර පූජාව*

*Audio Recorder යන්ත්‍ර පූජාව*


මෙත් දිය දහර පරදන හැම මහ මූදූ

සත්  හට අමා නිවනට යන මග සෑදූ

උත් තම මුණිඳු සිව්සස් දම් කඳ පෑදූ

අත් දෙක තබා නලලෙහි වඳිනෙමි සාදූ


මුණිඳුන්  දෙසූ දහමෙහි ගුණ අකාලික

පැණිමෙන් සුවය දෙයි සිත් වල මකාදුක

ඇසුමෙන් වැසෙයි සත හට ඇති අපාදුක

බැතියෙන් වඳින්නෙමි හැකිහැම වෙලාවක


සිව්මඟ සතර ඵල ලැබුමට මග වඩන 

දම්ගඟ රකින ලෝසත වෙත සෙත් සදන

මහසඟ රුවන තුන්කල්හිම වැඩ වසන

පස්අඟ නමා නමඳිමි ගරු ගුණ  සිතින


දම්සක දෙසූ දින සිට බරණැසෙහි දුරූ

සම්බුදු දහම රැකගත් තෙරවරුන් ගරූ

මෙන් වත්මනෙහි සාසන කෙත කරන සරූ

අරමේ ජේතවන වසනා ස්වාමි වරූ


ගුරු හිමි , අමාදස්සන නායක තෙරිඳු

ගරු දම්ජීව සහ මෙත් අරමේ සමිඳු

සරු සඟ රුවන මෙහි වසනා ලොව පසිඳු

මරු පරදන්න සැරසෙති බිඳිමින් අවිඳු


නැති බව ලොවේ හරයක් මිස බව අනිසී

නිති සඳහම් දෙසන කරුණා ගුණ ගැවසී

දෙති අප අතට දම් ආයුද කඩු  කිණිසී

පෙති ගා දමවු කෙළෙසුන් යනතෙක් වැනසී



අනගාරිකා , අනගාරික , සිල් උවැසී

දැන මඟ වඩන සිල් ශ්‍රාවක ගණ සැරසී

දෙන දේ ලැබෙන නියමය තිරකර වෙසෙසී

පින සහ නිවන යන දෙක නොලදොත් නොනිසී



දෙසුමය , දහම් ශ්‍රවණය , දම් කතිකාව

වැඩුමය , දහම් හඬගෑමෙහි හැකියාව

පහසුව පිණිස හඬ කෙරුමට ගබඩාව

සැකසේ හේතු බලයෙන් මේ පූජාව



පැතිරී මෙපින් අරමේ වැඩ සිටින ගරූ

පින්භාරයේ ගුණවත් හොඳ මහත්වරූ

සංසාරයේ අප හට නෙක උදව් කෙරූ

හැමදෙන නිවන් යත්වා පරදවා මරූ


බිහිවී දහස් ගණනින් අරහතුන් ලොවේ

තුන් ලොව දිලේවා බලයෙන් දහම් සුවේ

ශක්තිය , දිරිය මග වැඩුමට අවැසි ජවේ

වේවා අපට නිවනම මේ මිනිස් භවේ!


සාදු සාදු සාදු !!!

Comments

Popular posts from this blog

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?