30-08-2025:සාවකෝ-හිත වරද්ද ගන්න එපා

 30-08-2025:සාවකෝ-හිත වරද්ද ගන්න එපා


පින, පව, කුසල් හැම දේටම "සිත" ය මුල
දැන, රැකගෙන සිතත් වෙහෙසී සියළු කල
ගුණ යෙන් වඩා ලැබ ගන්නට මහත් ඵල
බණ දෙසුවේ හිමිය පොල්ගස් පිරුණු වෙළ

දෙන දේ මහත් අනිසස් වන බුදු සසුන
ගෙන දෙයි ඇසුර මතුවී කළ පිං පරණ
දෙන ලෙස මහත් දන්, මිළ මුදලින් පිරුණ
මොන අරුමයද යාචකයොත් දෙති තුටින

සිතට දැනේ රුව, හඬ, ගඳ ඈ කරුණු
කුමට ? සතුන්, පුද්ගලයන් ලෙස දකිනු 
කපට ඉන්ද්‍රජාලික විනැණින් තැනුණු 
අයට හැඟෙන අයුරුය මෝහය පිරුණු 

ගැලපෙන බැඳී නන් අයුරින් හේතු රැස
පෙන්වන දෙයක් කිම මායාවක්ම මිස
දක්වන කලට ඇරවා නැණ නැමති ඇස
ඇතිවුණ වැරදි අදහස් දුරු වේය පිස

දැක සම්මුතිය මිස නැති බව දෙයක් කිසී
සැක හැර වැරදි මත දහමෙන් ලෙහා නිසී
දුක ලකුණත් බලා මතුකර තිබුණු වැසී
එක මඟ - නිවන,  වෙත යන්නට නොවෙද රිසී

පස් කඳ සතෙක් ලෙස දැක්කොත් වේය මුලා
දොස් සහ රාග සිතුවිලි නොනවතීයි  ගලා
රැස් වෙන සියළු අරමුණු අනිසයයි බලා
හිස් කල හැකිය භව දුක, සත දමන පෙලා

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?