11-01-2025: සාවකෝ : ඔබට මිනිස්සු අපහාස කරනවාද ?
ඔබට මිනිස්සු අපහාස කරනවාද ?
උගත් , උසස් රැකියා කල නමුත් රැඳී
කිසිත් පලක් නැත මළ පසු නොයයි ඇදී
දුකත් , නිවෙන මඟ අපටත් කියා දිදී
වියත් මහරගම හිමි ගේ දහම් පොදී
වැලි බත් උයා කල ඒ සෙළුලමා වැඩ
මඳකුත් කලේ නැත අපගේ දිවිය හැඩ
සිහිපත් කලොත් තෙරුවන හැම ලැබෙන ඉඩ
සුවපත් කරයි සිත කෙලෙසුන් කෙරෙන් මැඬ
වටින දෙයක් ලංකර ගෙන සිතේ දරා
ලැබුණ අගය "මට" පවරා තබන තුරා
බහින කලට වටිනාකම අගය මරා
සැණින මහත් පීඩා දෙයි සිතක් පුරා
සොඳුරු බිරිය , සැමියා ඔබ කරන අගේ
මිතුරු පිරිස් ඉන්නා එක පවුල වගේ
මහරු අගය වඩවන්නේ දැනෙන "මගේ"
ඇසුරු කරන දේ බව අපි දකිමු සගේ
දොසක් ඔබේ කීවොත් මහ පිරිස් මැද
දුකක් දැනෙයි වටිනාකම බිමට ඇද
පසක් කලොත් "දුන් අගයේ" පිරිය සිඳ
එතෙක් දැනුනු දුක නැතිවෙයි ගොසින් බිඳ
ලොවේ තිබෙන දේ දැක්කොත් ලෙසින් නිසී
අගය ඉහල ඔසවන්නට වේය රිසී
අනිස ලෙසින් දැක ලෝ දම් තිබුණු වැසී
නිවෙන මඟට එමු අපි සැම සිනා සිසී
Comments
Post a Comment