පරාභව සූත්‍රය - පිරිහෙන කාරණා

 දැහැමින් වෙසෙන අන් අයගේ වැඩ කැමතී

ගුණයෙන් පිරුණු අය නිති දියුණුව  ලබතී
අදැමින් ක්‍රෝධ ගතියෙන් ඉතිරුණු  සිතැතී
විසුවන් දිනෙන් දින පිරිහීමට  ඇදෙතී

මහත් නුවණ ඇති උතුමන් පහත හෙලා
අසත් පුරුෂ හිස් මිනිසුන් ඇසුරු  කලා
පහත් දුදන ගති වෙත සිත නැඹුරු වෙලා
විපත් කරයි පිරිහෙන මග සකස් වෙලා

අලස කමට වැටෙමින් හැම තැනම  නිදා
දවස ගෙවන "සල්ලාපය" මතම රඳා
තෙදස  විරිය නැති, ක්‍රෝධය හරින මුදා
පිරිස ඇදෙති පරිහාණිය වෙතම සදා

දුකට වැටුණු වියපත් වුණු දෙමා-පිය
නොකොට කිසිදු සැලකිලි හැරදමා ගිය
කපට දුවා දරුවන් ගුණ නොමැති ලය
නුඹට උරුම පිරිහීමයි, නොවෙයි ජය

ශ්‍රමණ, බමුණු මහ උතුමෝ ඉතා ගරූ
යදින දුගී යාචකයන් වුවත් දිරූ
කරන කෙනක් රැවටීමට කියා  බොරූ
ගමන වෙතයි පිරිහුම, සුගතියෙන් දුරූ

කොතෙක් ධනය තිබුණත් මුතු මැණික් රිදී
නොයෙක් ලෙසින් වළඳන අන් අයට නොදී
ලොවක් ලැබුණ කල වුව තව ටිකක් මදී
අයෙක් නියත ලෙස පිරිහෙන මගට වදී

කුලය , උපත ගැන කියමින් උඩඟු වෙලා
ධනය නිසා නෑ මිතුරන් පහත හෙලා
නිලය  , බලය පා අන් අය තලා පෙලා
නිරය දෙසට පිරිහීමෙන් ගමන් කලා

සුරා වටම ලොල් වී කෙලමින් සූදූ
සරා ගිකව අඟනුන් හා බැඳි හාදූ
ජරා වට ගොසින් කල පව්කම් පීදූ
පරා ජයට යති පිරිහෙන මං පෑදූ

කලත් ඇසුරු නොම සතුටුය තම බිරිය
අනිත් පර අඹුන් ඇසුරට මයි පිරිය
එයත් මදිව වෙස'ඟන නොසොයා බැරිය
විපත් කරයි, පිරිහෙයි වෙත ගොස් නිරය

වියපත් අයෙක් පිරිහීගිය තරුණ බල
ගෙනවිත් අඹුව, පියවුරු සම තිඹිරි ඵල
නොනිදත් රකිති ඇය දිව රෑ  සියලු කල
පිරිහෙත් එයයි දියුණුවෙ මග වසන මුල

රස වත් කෑම , මත් පැන් හා මස් මාළූ
පිස කන අයෙක් එයටම ගිජු වී ලෝලූ
රැස මිල මුදල් හැම රැකුමට  පත් වීලූ
මිස , පිරිහුම ලැබේ ධනයත් වෙයි පාළූ

උපන් කෙනෙක් රජ කුලයේ, නැති වස්තූ
ලොබින් මැඬී දැක අන් අය ලැබ ගත්තූ
අනුන් සතු රජය මට වේ යයි පැත්තූ
ඔවුන් කල පවින් පිරිහෙති වෙති සත්තූ

Comments

Popular posts from this blog

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?