02-11-24: සාවකෝ -සැපයට නමක්

වොස්සග්ග ධම්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකෝ දේශනාව ගැන*


රැස් වූ සැමට උදයේ ගොස් වෙත අරම

හිස් බව ලොවේ පෙන්වා සත හට උරුම

විස් තර කරන මුණි දම අයුරින්  නියම

වොස් සග දම්ම හිමි දෙසුවේ දම් දෙසුම


නිවසක් තනා වසමින් එහි සිතා සොඳ

විසුවෙක් එය දමා අත් හැර නොයන ලෙද

දුටුවෙක් ඇලී තෘෂ්ණාවෙන් බැඳී තද

දැඩිදුක්  විඳිති සැනසීමක් නොමැති මඳ


පින යනු සැපය හා සම වෙන අධි වචන

දැන එය සිතේ රාගය-දොස්-මෝ  මඬින

දෙන  ඒ සුවය එම මොහොතේ සිත නිවන

ගෙන දෙන නිසා සැප හා පින එක කරුණ


අසරණ කෙනෙක් දුටුවොත් වියපත්ව ජරා

ඔබගැන සිතනු ඔබ යයි එහි දිනක දිරා

තිසරණ තුලින් සිත් පීඩා දුරැර හැරා

විගසින ඇදෙමු සුව දෙන මොක් සුවය කරා


තියෙන-සිටින දේ ලෙස අප හඟින ලොවේ

හඳුන ගන්න තුරු සිත මහ දුකින් තැවේ

දකින හේතු-ඵල මිස මෙහි කිසිත් නොවේ

ගමන කෙටියි යාමට වෙත නිවන් සුවේ


දැන හඳුනනා අරමුණු ගොඩ නැගෙන සැටී

ගැන තිලකුණු තුලින් දුටුවොත් හරිම වටී

තුන කල් අනාගත-ඉපැරණි මතක  ගැටී

ගෙන වත්මනෙහි හඳුනා ගත් සිතක හැටී!

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?