Posts

Showing posts from February, 2025

08-02-2025: සාවකෝ : සැප දුකක් වෙන්නේ කොහොමද ?

විමසා බලනු තම සිත , නොව ලොවේ තතූ වනසා දමනු කෙලෙසුන් වෑයමෙන් යුතූ සනසා දම් දෙසන උත්තම මුනිඳු පුතූ නොඅසා හැකිද? වොස්සග හිමි වදන් මුතූ කල මුත් පහසුවෙන් කටයුතු අවැඩ ගොතා දුලබය පිනක් කෙරුමට යහපතක් පතා ගැලවෙන මඟක් දැක අවබෝධයෙන් සිතා එලඹෙමු  නිවන දෙස සැනසුම ලැබෙයි ඉතා ගිණි පිටකරන් අහසට ‍යන කූරු නිලා මෙනි ජීවිතය, තුන් දොස් ගිණි පුපුරු හලා වැනි , නිදහස් කලත් ගති සිත තබන පෙලා මුණිබණ ඇසෙන තෙක් හැමදෙන කරයි මුලා දැක සැප දුකක් ලෙස අතහැර ඇති පිරිය දුක උල ලෙසින් බලමින් එය අත හැරිය නෙක මැදහත් හැඟුම් "අනිස" ව දුටු සිරිය එක මඟ එයයි නවතන මේ සුවි සැරිය වෙන්වී දුටු කලට සැප, දුක දැනෙයි හැඟී තණ්හා නැගීඑයි එකලට කෙලෙස් පෙඟී දන්නා කෙනෙක් හේතුව සහ ඵලය රැඟී යන්නා නිවන් දොර වෙත එය මහත් අගී බලන , අහන කෙනෙකුන් ලෙස දැනේ "මම" පෙනෙන , ඇහෙන දේ මය මේ සිද්ධි හැම නුවණ වඩා දුටුවොත් එය ලෙසින් ඇම නිවන කරා ගෙන යයි , සුව ලැබෙන අම

01-02-2025: සාවකෝ : නොපෙනෙන ලෝකය

  මුලු කාලයම  රැක ගන්නට දරු පවුල දිවි කැප කලොත් මතුවට වෙයි මහ තැවුල දහමේ යෙදී  විසඳන්නට මේ අවුල මෙත්'රම සමිඳු හඬවයි  සඳහම්  දවුල දැක යම් දෙයක් හැඟුනොත් බව පෙර දුටුව සැක නැත එයයි අවිදුන් කල මිස දිටුව නෙක ලෙස හේතු ඒ ඒ මොහොතේ ඉටුව දැක ගත හැකිය, පෙර දේ නොමඑයි කැටුව තියෙන දෙයක් ලෙස වස්තුවෙ ඇති  පාට හිතෙන හැඟුම, එය වෙන්කර දුටු දාට මැවෙන රුවට සිත ගෝචර කෙරුවාට කරුණ  කිමද ? වස්තුවෙ සිත බැඳුනාට දකින දෙයක් පිට ඇති බව හැඟෙනු මිස තියෙන දෙයක් දුටුවොත් නම් මහත් දොස පෙනුන රුවත් සිත තුල ගොඩ නැඟෙන යස පමණ නොකල එක්වූ නෙක හේතු රැස බැණ අන් අයට, කරදර කර අඬ දබර ගෙන එය "එකක්" ලෙස සිහිකරමින්  නිතර මොන ඵලයක්ද?  එය දිගු කරවයි සසර දැන නැණ වඩා දැක ගමු අරි-සස්  සතර දුක ගොඩනගන බව තණ්හා-අවිදු හිත දැක පසිඳුරන් පෙන්වන දේ පිටත නැත "එක"ලෙස නොගෙන හැඟුමක් බව වඩා සිත සැක නැත , එයයි  මඟ සසරට තබන තිත.